විශ්වසනීය පුද්ගල අනන්‍යතාව හැඳුනුම්පතයි
Hit Counter පැමිණි අමුත්තන්
   
   
     
 

සියවස් ගණනාවක් තිස්සේ ඉන්දියානු ජාතිකයන් මෙරටට පැමිණි අතර ඔවුන් බොහෝ අවස්ථාවල මෙරට ජනතාව සමග මිශ්‍ර වී ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වී තිබේ. විජයාගමනයේ සිට බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා කාලය තුල ඉන්දියානු ජාතිකයන්ගේ පැමිණීම නිරතුරුවම සිදුව ඇත. මේ තත්වය දිගින් දිගටම පැවතුන අතර එය වඩාත් බැරෑරුම් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී වතු වගා කම්කරුවන් ලෙස පැමිණි ඉන්දියානු ජාතිකයන් විශාල ප්‍රමාණයක් මෙරට රැදී සිටීමයි. එසේම ශ්‍රීලංකාවේ ව්‍යපාර ක්‍ෂේත්‍රය ඉන්දියානුවන් අතට විශාල ප්‍රමාණයක් පත්වීමත්, අනෙකුත්  රැකියා ක්‍ෂේත්‍රයන්හි ඉන්දියානු ජාතිකයන් නිරත වීමත් නිසා විරැකියා ප්‍රශ්නය මෙරට උග්‍රවිය. එම නිසා ඉන්දියානු සංක්‍රමණික කටයුතු වල බලපෑම පිළිබඳව දෙරට රාජ්‍ය හා දේශපාලඥයන් විවිධ අවස්ථාවලදී විමසා බලා නිරන්තරව සාකච්ඡා පවත්වනු ලැබීය.
එනමුත් එවකට ශ්‍රී ලංකාව හා ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ තිබූ බැවින්, බ්‍රිතාන්‍ය ජාතික වතුපාලකයින් බලවත් වූ නිසා බොහෝ කාර්යයන් සිදුවූයේ ඔවුන්ගේ සිතැඟි පරිදිය. එසේම දෙරටම බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ නිසා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගමනාගමනයට ද බාධාවක් නොතිබිණි.

 

 

     
 

ඉන්දියාව 1947 අගෝස්තු 15 වන දින නිදහස ලැබූ පසු එරට ආගමන විගමන නීති රීති වලට අනුවත් ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වන දින නිදහස ලැබූ පසු මෙරට ආගමන විගමන නීති රීති අනුවත්, ක්‍රියාකළ නිසා ඉන්දියානු ජාතිකයන්ට දෙරට අතර  ගමන් කිරීම නිත්‍යානුකූලව කිරිමට සිදුවිය. ඒ අනුව ශ්‍රී ජවහල්ලාර් නේරු හා ඩී.එස් සේනානායක අගමැතිවරුන් මෙරට සිටි ඉන්දීය ජාතිකයන්ගේ රටවැසි භාවය පිළිබද සාකච්ඡා පැවැත්වූ අතර, මෙරට රටවැසි භාවය ලබාගැනීමට කැමැත්තක් දැක්වූ පුද්ගලයන් සඳහා විශේෂ නීති හදුන්වා දෙන ලදී. නමුත් මෙය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ නිසා 1954 ඔක්තෝම්බර් මස මස අත්සන් තැබූ නේරු - කොතලාවල ගිවිසුම අනුවත් 1964 ඔක්තොබර් මස අත්සන් කළ සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම අනුවත් එම ගිවිසුම්වල සඳහන් පරිදි ඉන්දියානු ජාතිකයන් කොටසක් ශ්‍රී ලංකාවේ රදවා ගැනීමටත්, කොටසක් ඉන්දියාවට යැවීමටත් තීරණය කළ නමුත් මෙම ගිවිසුම නිසියාකාරව ක්‍රියාත්මක නොවුණි. එබැවින් මෙරට පදිංචිව සිටි පුද්ගලයන් ලියාපදිංචි කර ඔවුන් හඳුනාගැනීම සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සලසන ලදී. එමගින් මෙරටට නීති විරෝධීව ගොඩ බසින ඉන්දියානු සංක්‍රමනිකයන් පාලනය කළ හැකි බව එවකට තිබූ රජය වෙත කරුණු පැහැදිලි කර දෙන ලදී.


ඒ අනුව මැලේසියානු හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය හදාරා, මෙරටට අවශ්‍ය පරිදි පුද්ගලයන් ලියාපදිංචිකර හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා නීති සැකසීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යවන ලදුව 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1968 ජුනි 22 දින සම්මතකර ගන්නා ලද අතර ඊට අදාල රෙගුලාසි 1971 දී පනවනු ලැබීමෙන් පසු පනත 1971 අප්‍රියෙල් 05 වන දින සිට ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව 1971.10.01 වන දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1968 දී පනවනු ලැබුවත් එය ක්‍රියාත්මක වීම සඳහා තවත් වසර කිහිපයක් ගත විය. මෙම ප්‍රමාදයට හේතු වූයේ 1964 සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමට රජයේ ප්‍රමුඛතාවය හිමි වීමයි. මීට අමතරව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිපාලන යාන්ත්‍රනය ස්ථාපනය කිරීම හා හැඳුනුම්පත් සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස යම් කාලයක් ගත වීමද මෙහි ලා බලපා ඇත. 


දෙපාර්තමේන්තුව විසින් මුල්ම හැඳුනුම්පත නිකුත් කරනු ලැබුවේ 1972.09.14 දිනදී ය. එවකට පැවැති තාක්ෂණ තත්වයන්ට අනුකූලව මිනිස් ශ්‍රමයෙන් කඩදාසි මත (Manual Paper Based System) පදනම්වූ ක්‍රමවේදයක් ඔස්සේ නිකුත් කරනු ලැබූ එය ඉතාමත් ආරක්ෂිත හැඳුනුම්පතක් වශයෙන් එම වකවානුවේ දී සලකනු ලැබිණි. ඒ සඳහා යොදා ගනු ලැබූ පටලගත (Laminating) තාක්ෂණය එවකට ශ්‍රී ලංකාවට අළුත් අත්දැකීමක් විය. මුල් අවස්ථාවේදී හැඳුනුම්පතට අලවා තිබූ ඡායාරූපය කළු සුදු වර්ණයෙන් යුක්ත විය. දරන්නා පිළිබඳ විස්තර මෙන්ම හැඳුනුම්පතේ අංකය ද අතින්ම ලියා සටහන් කොට තිබිණි. විශේෂයෙන්ම දෙමළ හා මුස්ලිම් ඉල්ලුම්කරුවන් සඳහා පමණක් හැඳුනුම්පතේ විස්තර සිංහල හා දෙමළ භාෂා දෙකෙන්මද අනෙකුත් ඉල්ලුම්කරුවන් සදහා සිංහල භාෂාවෙන්ද සටහන් කරන ලදී. 1978 වර්ෂයේ සිට හැඳුනුම්පතේ අංකය යතුරු ලියනය කොට සටහන් කිරීම ආරම්භ විය. එමෙන්ම එතෙක් පැවති කළු සුදු ඡායාරූපය වෙනුවට වර්ණ ඡායාරූපයක් හැඳුනුම්පතට ඇලවීම ආරම්භ වූයේ 2005 වර්ෂයේ සිට ය.


මිනිස් ශ්‍රමයෙන් පමනක් සැකසූ හැදුනුම්පත් කැපී පෙනෙන වෙනසක් සිදු වූයේ 2014 වර්ෂයේ දී ය. 2014.02.28 වන දින සිට සියලුම හැදුනුම්පත් තාක්ෂණික කුමවේදයෙන් සිංහල හා දෙමළ ද්වී භාෂාවෙන් මුද්‍රණය කර නිකුත් කිරීම ආරම්භ විය. කෙසේ වෙතත් 1970 දශකයේ නිශ්පාදිත පටලගත (Laminating) යන්ත්‍ර භාවිතයෙන් මෙම හැඳුනුම්පත් ආස්තරණය කරනු ලැබේ. හැඳුනුම්පත් සඳහා යොදා ගනු ලබන කාඩ්පත ද 1970 දශකයේ පිරිවිතරයන්ට අනුකූලව නිශ්පාදනය කරනු ලැබූවකි. සිංහල හා දෙමළ අක්ෂර පරිවර්තනය (transliteration) සඳහා වර්තමාන තාක්ෂණයට අනුව සැකසුනු මෘදුකාංග භාවිතා කරනු ලැබේ. ඒ අනුව මෙම නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම තුලින් මහජනතාවට වඩාත් ඵලදායී හැඳුනුම්පතක් නිකුත් කිරීමට හැකි වී ඇත.

 

දෙපාර්තමේන්තුවේ විෂය පථය


තේමාව
විශ්වසනීය පුද්ගල අනන්‍යතාව ජාතික හැඳුනුම්පතයි


දැක්ම
සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම තහවුරු කරන ලද අනන්‍යතාවක්


මෙහෙවර
සිය දේශය තුළදී සියලුම ශ්‍රීලාංකික පුරවැසියන්ගේ  මානව, සමාජ , ආර්ථික , දේශපාලනික සහ නීතිමය අයිතිවාසිකම්  සුරැකෙන අයුරින්ද ,සිය දේශයෙන්  බැහැර වූ අවස්ථාවල  ආරක්ෂාව සැලසෙන අයුරින්ද, ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කොට ජාතික පුද්ගල දත්ත පද්ධතියක්  සකස් කිරීම, කිසියම්  පුරවැසියකුගේ අනන්‍යතාවය තහවුරු කර ගතයුතු අවස්ථාවල දී ජාතික හා  අනෙකුත්  ආයතනවලට තොරතුරු සැපයීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට හා සංවර්ධනයට සහයවීම.

පරමාර්ථය
සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුගේම තොරතුරු විද්‍යුත් මධ්‍ය දත්ත ගබඩාවක, ජාතික පුද්ගල නාම ලේඛනයක් ලෙස ස්ථාපිතකර, හිමිකම් සහිත පුරවැසියන් හදුනාගැනීම උදෙසා,විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කරමින් නෛතික දත්ත හුවමාරු පද්ධතියක් තුල අනෙකුත් ආයතන සමග තොරතුරු හුවමාරු කර ගනිමින්, ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය උදෙසා පහසුකම් සැලසීම.

වගකීම

  • සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම පුද්ගල තොරතුරු රැස්කර ජාතික පුද්ගල නාම ලේඛනය,විද්‍යුත් මධ්‍ය දත්ත ගබඩාවක් ලෙස ස්ථාපිත කර පවත්වාගෙන යාම.
  • නිසි වයස සම්පූර්ණ වූ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම ලියාපදිංචිකර ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම.
  • ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පුද්ගල තොරතුරු තහවුරුකර සහතික කිරීම.
  • රාජ්‍ය හා අනෙකුත් ආයතන සමග තොරතුරු හා දැනුම හුවමාරු කර ගැනීම.
  • නූතන තාක්ෂණික දැනුම හා මානව සම්පත් සංවර්ධනය තුලින් දෙපාර්තමේන්තුවේ ශක්‍යතාවය ගොඩනැගීම.
  • ජාතික ආරක්ෂාව හා රටේ සංවර්ධන ක්‍රියාවලියට පහසුකම් සැලසීම.

මූලික කාර්යභාරය

  • සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම පුද්ගල තොරතුරු රැස්කර ජාතික පුද්ගල නාමලේඛනය විද්‍යුත් මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කර පවත්වාගෙන යාම.
  • සුදුසුකම්ලත් සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ම විශ්වසනීය ලෙස හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම.
  • ජාතික ආරක්ෂාව හා රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම, නෛතික හා ප්‍රතිපත්තිමය එකගතා අනුව තොරතුරු හුවමාරු කිරීම හා එම තොරතුරු සත්‍යාපනය කිරීම.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අදාළ නීතිමය පසුබිම

දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නීතිමය පසුබිම සැලසී ඇත්තේ 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත හා ඒ යටතේ පනවන ලද නියෝග, නියමයන් හා නිවේදන මගින් ය.. මෙම පනත 1971 අප්‍රේල් මස 05 දින සිට බල පවත්වන පරිදි ක්‍රියාත්මක වේ. [වැඩි විස්තර]

විද්‍යුත් ජාතික හැඳුනුම්පත
හැඳුනුම්පත සකස් කිරීම සඳහා භාවිතා කරනු ලබන යල් පැන ගිය යන්ත්‍ර සූත්‍ර සඳහා අමතර කොටස් වෙළඳ පොලෙන් සපයා ගැනීමට නොහැකි වීම වැනි කරුණු හේතුවෙන් හැඳුනුම්පත සකස් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ඉදිරියටත් පවත්වාගෙන යාම අපහසු වී ඇත. එමෙන්ම එකී යන්ත්‍ර මිනිස් ශ්‍රමයෙන් ක්‍රියා කළ යුතු වීම නිසා වර්තමානයේ හැඳුනුම්පත් සඳහා ඇති ඉල්ලුමට සරිලන වේගයෙන්  හැඳුනුම්පත් සකස් කිරීමේ ගැටළු ඉස්මතු වී ඇත. හැඳුනුම්පත් සඳහා යොදා ගනු ලබන ආරක්ෂිත කාඩ්පත් වෙළඳපොලෙන් සපයා ගැනීම ද අපහසු වී ඇත. මේ නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මෙන්ම එහි සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට ද විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදු වී ඇත. එමෙන්ම මෙම හැඳුනුම්පතට අදාල ආරක්ෂක උපක්‍රම ආදිය නවීන තත්වයන්ට නොගැලපෙන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් පුද්ගල දත්ත, එම අයගේ පවුලේ තොරතුරු අවු. 15 හා ඊට වැඩි සියලු දෙනාගේ සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organization- ICAO ) ප්‍රමිතියට අනුකූල ඡායාරූප හා ජීවමිතික ලක්ෂණ ලබාගෙන  නවීන පරිගණක තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ විද්‍යුත් මාධ්‍ය දත්ත ගබඩාවක් ස්ථාපිත කර එමගින් ජාත්‍යන්තර නවීන ආරක්ෂිත ලක්ෂණ ඇතුලත් විද්‍යුත් පාතික හැදුනුම්පතක් 2016 වර්ෂය තුලදී නිකුත් කිරීමට කටයුතු සැලසුම්කර ඇත. [වැඩි විස්තර]

 

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කළ කොමසාරිස් වරුන්, කොමසාරිස් ජනරාල් වරුන් හා කාල වකවානුව

කොමසාරිස්වරුන්

අනු අංකය නම කාල වකවානුව
1 ටී.බී.එම්.ඒකනායක මයා 1971.10.01 – 1977.04.13
2 ජී.පී.එස්.යූ. ද සිල්වා මයා 1977.04.14 – 1982.11.30
3 සී.ඩබ්.සිරිවර්ධන මයා 1982.12.01 – 1984.08.12
4 එම්.පී.ඩී.සී.ප්‍රනාන්දු මයා 1984.08.13 – 1987.09.30
5 බන්දුල කුලතුංග මයා 1987.10.01 – 1993.06.30
6  ඩී.ඒ.සමරවීර මයා 1993.07.01 – 1994.03.30
7 කේ.ජේ.වී.රණසිංහ මයා 1994.03.31 – 2004.07.19
8 පී.බී.අබේකෝන් මයා 2004.08.03 – 2005.04.08
9 එච්.කේ.ගීතසේන මයා 2005.04.11 – 2006.02.03
10 ඒ.ජී.ධර්මදාස මයා 2006.02.20 – 2008.12.21

කොමසාරිස් ජනරාල්වරුන්

අනු අංකය නම කාල වකවානුව
1 ඒ.ජී.ධර්මදාස මයා    2008.12.22 – 2010.08.13
2 ජගත් පී.විජේවීර මයා   2010.08.18 – 2012.11.30
3 ආර්.එම්.එස්.සරත්කුමාර මයා 2013.01.08 - 2016.12.14
4 පී.වියානි ගුණතිලක මයා 2016.12.15 - මේ දක්වා

 

 

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්තුමාගේ සාමාන්‍ය හා විශේෂ විධි විධානයන්ට අනුව ක්‍රියාත්මක වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ඉතා මැනවින් ඉටු කිරීම සඳහා දෙපාර්තමේන්තුව විවිධ අංශ වලට බෙදා ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් පහත සඳහන් අංශ හතරෙන් යුක්ත වේ.

  • පාලන අංශය
  • මූල්‍ය අංශය
  • මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ අංශය
  • සංවර්ධන හා පර්යේෂණ අංශය

පාලන අංශය
දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම ප්‍රධාන කාර්යභාරය වේ.

මූල්‍ය අංශය
දෙපාර්තමේන්තු අවශ්‍යතා සපුරා ගත හැකි වන පරිදි මූල්‍ය හා වත්කම් පාලනය සිදු කිරීම ප්‍රධාන කාර්යභාරය වේ.

මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ අංශය
වයස අවුරුදු 16 සම්පූර්ණ වූ/ සම්පූර්ණ වන පුද්ගලයන් ලියාපදිංචි කර සුදුසුකම් ලත් පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රධාන කාර්යභාරය වේ. හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීම, අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම උප කාර්යභාරයන් වේ. 
මේ සඳහා මෙම අංශය පහත ශාඛාවන්වලට බෙදා වෙන් කර ඇත. 

  • ඉල්ලුම් පත්‍ර භාර ගැනීම හා තැපැල් ලැබීම් ශාඛාව
  • ලේඛන හා හැඳුනුම්පත් අංක පරීක්ෂා කිරීමේ ශාඛාව
  • අඩුපාඩු ලේඛන කැඳවීමේ ශාඛාව
  • අනුමත කිරීමේ ශාඛාව
  • දත්ත සැකසුම් ශාඛාව
  • සිංහල පරිවර්තනය කිරීමේ ශාඛාව
  • දෙමළ පරිවර්තනය කිරීමේ ශාඛාව
  • ලියාපදිංචි කිරීම හා ලියාපදිංචයි තහවුරු කිරීමේ ශාඛාව
  • හැඳුනුම්පත් මුද්‍රණය කිරීම හා තත්ව පරීක්ෂා කිරීමේ ශාඛාව
  • හැඳුනුම්පත් සැකසීම(පටල ගත කර කපා සැකසීම) හා පරිලෝකනය කිරීමේ ශාඛාව
  • හැඳුනුම්පත් නිකුත් කිරීම හා තැපැල් යැවීමේ ශාඛාව
  • නිති කටයුතු ශාඛාව
  • මහජන සමිබන්ධතා හා ගැටළු නිරාකරනය කිරීමේ ශාඛාව


ඉල්ලුම් පත්‍ර භාර ගැනීම හා තැපැල් ලැබීම් ශාඛාව

  • තැපැල් මාර්ගයෙන් එවනු ලබන (ප්‍රාදේශීය ලේඛම් කාර්යාල මගින්, දිවයින පුරා සියලුම විදුහල් මගින්) සහ අදාළ අයදුම් කරුවන් පුද්ගලිකව දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලබන සියලුම අයදුම් පත්‍ර මෙම අංශය වෙත යොමු කරනු ලබයි.
  • මෙසේ ලැබෙන ඉල්ලුම් පත්‍ර දිස්ත්‍රික්ක අනුපිළිවෙලට වෙන් කොට පරිලෝකනය සඳහා සූදානම් කිරීම සිදු කරනු ලබයි.
  • ඉන්පසුව ඉසියලුම ඉල්ලුම් පත් හා ඒ සමග අමුණා ඇති ලේඛන පරිලෝකනය කොට අදාළ ඉල්ලුම් පත්‍ර අංක යටතේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සිදු කෙරේ.‍

ලේඛන හා හැඳුනුම්පත් අංක පරීක්ෂා කිරීමේ ශාඛාව

  • ඉදිරිපත් කර ඇති ඉල්ලුම් පත්‍රයේ හා ඒ සමග යොමු කරන උප්පැන්න සහතිකය,පොලිස් වාර්තාව ,විවාහ සහතිකය,  පැරණි හැඳුනුම්පත ඇතුළු අනෙකුත් උප ලේඛණ වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම මෙහිදී සිදු කරනු ලැබේ
  • අවශ්‍ය අවස්ථා වලදී මින් පෙර නිකුත් කර ඇති හැඳුනුම්පත් අංක හා ඊට අදාළ තොරතුරු පරීක්ෂා කිරීම ද මෙම අංශයෙන් සිදු කෙරේ.

අඩුපාඩු ලේඛන කැඳවීමේ ශාඛාව

  • දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති ඉල්ලුම්පත්‍ර වල අඩුපාඩු ඇති අවස්ථා වලදී එම අඩුපාඩු ඉල්ලුම්කරු වෙත දන්වා එම අඩුපාඩු නිවැරදි කිරීම මෙම ශාඛාවෙන් සිදු කෙරේ.

අනුමත කිරීමේ ශාඛාව

  • ඉල්ලුම්පත්‍රෙය් දක්වා ඇති දත්ත වල නිවැරදි භාවය පරීක්ෂා කර හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම මෙහිදී සිදු කෙරේ.

දත්ත සැකසුම් ශාඛාව

  • හැඳුනුම්පත නිකුත් කිරීමට අනුමැතිය ලද පසු ඉල්ලුම්පතෙහි ඇතුලත් දත්ත පරිගණකගත කිරීම මෙහිදී සිදු කෙරේ.

සිංහල අක්ෂර පරිවර්තනය කිරීමේ ශාඛාව

  • ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුලත් කරන ලද දත්ත මෙම අංශයේ දී සම්පූර්ණයෙන් පරිගණක ගත ක්‍රමවේදයකට අනුව සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ස්වයංක්‍රීයව සිදු කෙරේ.
  • නිරවද්‍යතාවය 100% ක් පවත්වා ගැනිම සඳහා ස්වයංක්‍රීයව පරිවර්තනය වූ දත්ත පුහුණු කාර්ය මණ්ඩලයක් මඟින් වැඩි දුරටත් පරීක්ෂා කර අවශ්‍ය නිවැරදි කිරීම සිදු කරනු ලබයි.

දෙමළ පරිවර්තනය කිරීමේ ශාඛාව

  • ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුලත් කරන ලද දත්ත මෙම අංශයේ දී සම්පූර්ණයෙන් පරිගණක ගත ක්‍රමවේදයකට අනුව දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම ස්වයංක්‍රීයව සිදු කෙරේ.
  • නිරවද්‍යතාවය 100% ක් පවත්වා ගැනිම සඳහා ස්වයංක්‍රීයව පරිවර්තනය වූ දත්ත පුහුණු කාර්ය මණ්ඩලයක් මඟින් වැඩි දුරටත් පරීක්ෂා කර අවශ්‍ය නිවැරදි කිරීම සිදු කරනු ලබයි.

ලියාපදිංචි කිරීම හා ලියාපදිංචයි තහවුරු කිරීමේ ශාඛාව

  • දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යය වන පුද්ගලයන් ලියාපදිංචි කිරීම මෙම අංශයෙන් සිදු කෙරේ. ඒ අනුව මුල් වරට ඉල්ලුම් කරනු ලබන හැඳුනුම්පත් සඳහා අංක ලබා දී පුද්ගලයන් ලියාපදිංචි කිරීම සිදු කෙරේ. තවද සංශෝධනය කිරීමට සහ නැතිවූ හැඳුනුම්පත් සඳහා දෙවන පිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන ඉල්ලුම්පත්‍ර සඳහා ලියාපදිංචිය තහවුරු කිරීමද මෙහිදී සිදු කෙරේ.

හැදුනුම්පත් මුද්‍රණය කිරීම හා තත්ව පරීක්ෂා කිරීමේ ශාඛාව

  • ලියාපදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් හඳුනාගැනීමේ පත්‍රයක් මුද්‍රණය සහ මුද්‍රිත හැඳුනුම්පතෙහි තත්ව පරීක්ෂාව මෙම අංශයෙන් සිදු කෙරේ.
  • හඳුනාගැනීමේ පත්‍රය නවීන හා ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව ස්වයංකීයව මුඳ්‍රණය වන අතර ඒය පුහුණු කාර්ය මණ්ඩලයක් මඟින් අධීක්ෂණය කරනු ලබයි.
  • මුද්‍රිත හැඳුනුම්පතෙහි තොරතුරු ඉල්ලලුම්පත්‍රයේ ඇති තොරතුරු සමඟ සංසන්දනය කිරීමත්, මුද්‍රණය කරන ලද හැඳුනුම්පතෙහි තත්වය හා ගුණාත්මක භාවයත් පරීක්ෂා කර නියමිත ප්‍රමිතියෙන් තොර හැඳුනුම්පත් වෙතොත් ඒවා නැවත මුද්‍රණය සඳහා යොමු කිරීමද මෙහිදී සිදු කෙරේ.

හැඳුනුම්පත් සැකසීම(පටල ගත කර කපා සැකසීම) හා පරිලෝකනය කිරීමේ ශාඛාව

  • මුද්‍රණය කරන ලද නිසි ප්‍රමිතියෙන් යුත් හඳුනාගැනීමේ පත්‍ර විශේෂිත ආස්තර පටල උපයෝගී කර ගනිමින්  පටලගත (Laminating) කිරීමත් එම හැඳුනුම්පත් පරිලෝකනය කර දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට ඇතුලත් කර ගැනීමත් මෙහිදී සිදු කෙරේ.

හැඳුනුම්පත් නිකුත් කිරිම හා තැපැල් යැවීමේ ශාඛාව

  • සකස් කරන ලද හැඳුනුම්පත් ඉල්ලුම්කරු වෙත (ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය , පාසල හෝ පෞද්ගලික ලිපිනය වෙත) බෙදා හැරීම මෙම අංශයෙන් සිදු කෙරේ.

මහඡන සම්බන්ධතා හා ගැටළු නිරාකරණය කිරීමේ ශාඛාව

  • දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන මහජන විමසීම් හා ගැටලු පිළිබඳ කරුණු විමර්ෂණය කර විසඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු මෙම අංශයෙන් සිදු කෙරේ.  

පුහුණු කිරීමේ හා පර්යේෂණ අංශය

දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය වන පුහුණුව ලබා දීම හා දෙපාර්තමේන්තුවෙන් සැපයෙන සේවාවේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහල නැංවිය හැකි වන පරිදි දෙපාර්තමේන්තුව සංවර්ධනය කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කිරීම මෙම අංශය මගින් සිදු කෙරේ.