ප්‍රාදේශීය කාර්යාල

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාල ස්ථාපිත කර දෙපාර්තමේන්තු නිලධාරීන් අනුයුක්ත කර ඇත. දැනට එම ප්‍රාදේශීය කාර්යාල 335 මගින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
ප්‍රාදේශීය කාර්යාල මගින් ලබා ගත හැකි සේවාවන්

    සාමාන්‍ය සේවය මගින් ජාතික හැඳුනුම්පත් සකස් කිරීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන් ග්‍රාම නිලධාරීන් වෙත ලබා දෙන ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම.
    එක්දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීමෙන් පසු ප්‍රධාන කාර්යාලය හෝ දකුණු පළාත් කාර්යාලයට යොමු වීමට හැකි පරිදි එක්දින සේවය සඳහා දිනයක් වෙන් කර දීම.
    පාසල් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ප්‍රථම එම ඉල්ලුම්පත්වල අඩුපාඩු පවතීදැයි පරීක්ෂා කර බැලීම, අවශ්‍ය උපදෙස් ලබා දීම හා මඟ පෙන්වීම සිදු කිරීම.
    ඉල්ලුම්පත් සමඟ ඉදිරිපත් කරන ලද ලේඛනවල යම් අඩුපාඩුවක් වෙතොත් ඉල්ලුම්කරුවන් වෙත ඒ බව දැන්වීම, එම අඩුපාඩු ලේඛන නැවත කැඳවා පරිලෝකනය කර පද්ධතියට ඇතුළත් කිරීම.
    ක්‍රියාවලිය තුළ සැකසෙමින් පවතින ඉල්ලුම්පත් සම්බන්ධව විමසීම් කරන ඉල්ලුම්කරුවන් වෙත ඒ සම්බන්ධව අවශ්‍ය තොරතුරු ලබා දීම.
    යම් ඉල්ලුම්පතක් සම්බන්ධව නීතිමය ගැටළුවක් පැන නැඟී ඇති අවස්ථාවක ඊට අදාළව සිදු කෙරෙන දෙපාර්තමේන්තු විමර්ශන කටයුතු සඳහා ඉල්ලුම්කරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කිරීම.
    මිය ගිය පුද්ගලයන්ගේ හැඳුනුම්පත් ග්‍රාම නිලධාරීන් මගින් භාර ගැනීම හා ඒ සම්බන්ධ තොරතුරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීම.
    ඉල්ලුම්කරුවන් වෙත තැපැල් කරන ලදුව ලිපිනයේ යම් ගැටළුවක් නිසා ප්‍රධාන කාර්යාලය වෙත ආපසු ලැබෙන හැඳුනුම්පත් නැවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය වෙත යොමු කරනු ලබන බැවින් එම හැඳුනුම්පත් අදාළ ඉල්ලුම්කරුවන් වෙත නිකුත් කිරීම.

    දෙපාර්තමේන්තුවේ පළාත් හා ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධීකරණ අංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ප්‍රාදේශීය කාර්යාල මගින් වඩාත් ගුණාත්මක හා විධිමත් සේවාවක් මහජනතාව වෙත ලබා දේ.