පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වල තොරතුරු තහවුරු කරමින් ජාතික හැඳුනුම්පතෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පිටපතක් ජාතික හැඳුනුම්පතේ හිමිකරු විසින් ඉල්ලා සිටින අවස්ථාවක දී, ජාතික හැඳුනුම්පත් තොරතුරු ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ලබා දීම සිදු කරනු ලැබේ.

ජාතික හැඳුනුම්පත් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරවා ගැනීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන

    ජාතික හැඳුනුම්පත (පලුදු නොවූ පැහැදිලි ජාතික හැඳුනුම්පත ලබා දිය යුතුයි)
    ජාතික හැඳුනුම්පතෙහි අන්තර්ගත තොරතුරු සටහන් කරන ලද ආකෘතිපත්‍රය
    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයේ සරප් කවුන්ටරය වෙත රු.2000.00 ක ගාස්තුවක් ගෙවා ලබා ගත් කුවිතාන්සිය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙහි 09 වන මහළ B අංශය මගින් හා සියළුම පළාත් කාර්යාල (දකුණ, වයඹ, උතුර, නැගෙනහිර) මගින් ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ගත හැකි අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පතේ හිමිකරු අනිවාර්යෙන් පැමිණිය යුතුය. යම් විශේෂ හේතුවක් මත ජාතික හැඳුනුම්පතේ හිමිකරු පැමිණිය නොහැකි අවස්ථාවකදී මව, පියා, කලත්‍රයා, සහෝදර සහෝදරියන් හෝ නීත්‍යානුකූල භාරකරු වෙත ග්‍රාම නිලධාරී මගින් තහවුරු කරන ලද බලය පැවරීමේ ආකෘති පත්‍රයක් ඉදිරිපත් කිරීම මගින් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තන ලිපිය ලබාගත හැකිය.


යම්කිසි ආයතනයක් හෝ රජයේ දෙපාර්තමේන්තුවක් විසින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදු කරන ලද අවස්ථාවක දී දෙපාර්තමේන්තුව මගින් මෙම අවස්ථාව ලබාදෙනු ලැබේ.


ජාතික හැඳුනුම්පතේ තොරතුරුවල සත්‍යතාවය සහතික කිරීම 2016 අංක 8 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනතින් සංශෝධිත 1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ පනතේ 39 වගන්තිය මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත බලය පැවරී ඇත. මෙම සේවාව ලබා ගැනිම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලුම් කළ යුතුය.

ඒ අනුව, පරිගණකගත ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු ජාතික හැඳුනුම්පත දරන්නාගේ කැමැත්ත දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත වන අධිකාරීන් වෙත මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ ලබා දෙනු ලබයි. මෙහිදී, තොරතුරු සහතික කිරීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලිම් සංඛ්‍යාවට අදාලව යම් ආයතනයකට ගෙවිය යුතු ගාස්තුව ඇතුළත් ඉන්වොයිසයක් දෙපාර්තමේන්තුව විසින් මාසිකව නියමිත ආයතනය වෙත නිකුත් කරනු ලැබේ.

යම් පුද්ගලයෙකු සේවා අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේදී යම් මූල්‍ය ආයතනයක් හෝ වෙනත් ආයතනයක් විසින් එකී පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය තුල නොමැති බවට අදාල පුද්ගලයා වෙත දැනුම් දී ඇති අවස්ථාවකදී, ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වෙතින් තොරතුරු විමසිය හැකිය.

එම පුද්ගලයා වෙත නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පතෙහි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අදාල ජාතික හැඳුනුම්පත හා ඔහුගේ/ඇයගේ උප්පැන්න සහතිකය, දෙපාර්තමේන්තුවේ අංක තහවුරු අංශයට හෝ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික හැඳුනුම්පත් අංශයට යොමු කළ යුතුය. එසේ නිරවද්‍යතාව තහවුරු කරගන්නා ජාතික හැඳුනුම්පත පද්ධතියට ඇතුලත් කිරීම සිදු කරනු ලබයි.

විමසීම්
ශාඛා ප්‍රධානී - අංක තහවුරු අංශය
දුරකථන අංකය : 011 52261624
විද්‍යුත් තැපෑල : hob.ccu@drp.lk


ශ්‍රී ලාංකිය පුරවැසියන් වෙත ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ යම් පුද්ගලයක් විසින් තම අතැති ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම හෝ නැති වූ ජාතික හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්කර ඇති අවස්ථාවක හෝ ඉල්ලුම්කරු වෙත නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත් භාවිතා කර සේවය ලබාගැනීමේදී හෝ පහත සඳහන් ගැටලු හඳුනාගන්නා අවස්ථාවලදී අදාල ඉල්ලුම්පත සම්බන්ධව කඩිනමින් කටයුතු කර නිවැරදි කිරීම සිදු කරනු ලැබේ.

    එකම ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයන් දෙදෙනෙකු වෙත නිකුත් වී තිබීම.
    දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂ මත උපන්දිනයට හෝ ස්ත්‍රී/පුරුෂභාවයට නොගැලපෙන අංකයකින් ජාතික හැඳුනුම්පත් නිකුත් වී තිබීම.
    ඉල්ලුම්කරු වෙත යම් මූල්‍ය ආයතනයක් හෝ වෙනත් ආයතනයක් විසින් ජාතික හැඳුනුම්පතෙහි නිරවද්‍යතාවය පරික්ෂා කර ගැනීමට අදාල පුද්ගලයා වෙත දැනුම් දී ඇති අවස්ථාවකදී
    මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පතෙහි අංක තහවුරුවක් අවශ්‍ය අවස්ථාවක දී,
    අදාල අංක තහවුරු කිරීමේ ලිපිය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අංක තහවුරු අංශය මගින් නිකුත් කරනු ලබයි. (ආකෘතිපත්‍රය)

ජාතික හැඳුනුම්පත් අංක තහවුරු ලිපි ලබාගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන

    අදාල පුද්ගලයා විසින් ලිපි ලබාගැනීමට අදාලව දෙපාර්තමේන්තුව වෙතින් කෙරෙන ඉල්ලීම
    අවසන් වරට නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත
    උප්පැන්න සහතිකය
    අවසන් වරට නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කල බවට පිළිගත හැකි ලිඛිත සාක්ෂි ලෙස ගුවන් ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, බැංකු ගිණුම් පොත්, සේවක අර්ථසාධක අරමුදල් වාර්තා ආදී ලේඛන
    ද්විත්ව පුරවැසි සහතිකය (අදාල අයට පමණි)
    පුද්ගලයා මියයාමෙන් අනතුරුව ඥාතීන් විසින් සිදුකරනු ලබන විමසීමකදී මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කිරීමට අදාල උපදෙස් පත්‍රිකාවේ සඳහන් සියලු ලිපි ලේඛන හා වාර්තා

සැළකිය යුතුයි :

  1. පුද්ගලයා වෙත අවසන්වරට නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත පුද්ගලයා සතුවීම අනිවාර්ය වන අතර ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් හෝ ජාතික හැඳුනුම්පත පලුදු වි, විරූපී වී හෝ තොරතුරු අපහැදිලි නම් පුද්ගලයා විසින් හැඳුනුම්පතෙහි අනුපිටපතක් ලබා ගැනීමෙන් අනතුරුව හැඳුනුම්පත් අංක තහවුරු ලිපි නිකුත් කිරීම සඳහා වූ ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.
  2. පුද්ගලයාගේ අවශ්‍යතාවය මත විදේශ ධූත මණ්ඩල වෙත ඉදිරිපත් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කර ගැනීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකගතාවය සහිත භාෂා ත්‍රිත්වයෙන් යුත් ආකෘතියකින් අදාලව ලිපිය නිකුත් කල යුතු හෙයින්, ජාතික හැඳුනුම්පත සුහුරු කාඩ්පතක් ලෙස ලබාගෙන තිබිය යුතුය.
  3. එසේම සෑම අවස්ථාවකදීම ජාතික හැඳුනුම්පත හිමි පුද්ගලයා විසින් ද මියගිය පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කර ගැනීමකදී මියගිය පුද්ගලයාගේ ළගම ඥාතියා විසින් ද දෙපාර්තමේන්තුව වෙත අංක තහවුරු ලිපිය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම ඉදිරිපත් කළ යුතු අතර ආබාධිත/අසනීප වැනි විශේෂ හේතූන් මත අදාල ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත බලය පවරනු ලබන පුද්ගලයෙකු හට දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය හැක.
  4. මියගිය පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කරගැනීමකදී රජයේ ගාස්තුව ලෙස රු.500.00 මුදලක් ගෙවිය යුතුය.

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ යුතුය.

මියගිය අයගේ ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් 2017 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි අංක 16 හි සඳහන් කර ඇත.
මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංශය වෙත භාරදිය යුතුය.

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත භාරදීම

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ මෙහෙයුම් අංශය වෙත භාරදීමේදී‍ පහත ලේඛන අවශ්‍ය වේ.

    මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත ඡායා පිටපත් 03 ක් සමග‍
    මරණ සහතිකයේ සහතික කරන ලද ඡායා පිටපතක්
    සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ./මෙ/01/3 ආකෘති පත්‍ර 03

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදීම

ජාතික හැඳුනුම්පත ඇතිවිට,

    මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත
    මියගිය පාර්ශවයේ ඥාතියකුගෙන් ලබාගත් ඇමුණුම 01 ආකෘතිය
    මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් මගින් සහතික කිරීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී වෙත භාරදුන් පසු ග්‍රාම නිලධාරී විසින් ද සහතික කරන ලද ඉහත 2 හි සඳහන් ආකෘතිය

ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති අවස්ථාවලදී
ඒ අනුව,
    පොලිස් වාර්තාව
    මියගිය පාර්ශවයේ ඥාතියකුගෙන් ලබාගත් ඇමුණුම 02 ආකෘතිය
    මරණ රෙජිස්ට්‍රාර් මගින් සහතික කිරීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී වෙත භාරදුන් පසු ග්‍රාම නිලධාරී විසින් ද සහතික කරන ලද ඉහත 2 හි සදහන් ආකෘතිය


මියගිය පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පතෙහි අංක තහවුරුවක් අවශ්‍ය අවස්ථාවකදී, අදාල අංක තහවුරු කිරීමේ ලිපිය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අංක තහවුරු අංශය මගින් නිකුත් කරනු ලබයි.


නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත් සම්බන්ධ පැමිණිලි පවතින විට හෝ පද්ධතියට ඇතුලත් කර ඇති ඉල්ලුම්පත්වල ගැටලු නිරීක්ෂණය වන අවස්ථාවන්හිදී (උපන්දිනය වෙනස් වන අවස්ථා, විවිධ උපන්දිනය හා උප්පැන්න සහතික ඇති අවස්ථා, විවිධ නම් භාවිතා කර ඇති අවස්ථා, හැඳුනුම්පත් විකෘති කර ඇති අවස්ථා) ඒ සම්බන්ධ විධිමත් විමර්ශනයක් සිදුකර අදාල ගැටලු සමථයකට පත්කිරීමට කටයුතු කරනු ලැබේ.


මේ වන විට දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය ශ්‍රී ලංකා පොලිසිය හා සම්බන්ධ කර ඇති බැවින් පොලිස් නිශ්කාශන සම්බන්ධ කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබයි. පොලිසිය විසින් සිදුකරනු ලබන වැඩිදුර විමසීම් සඳහා දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය තොරතුරු ලබාදීම සිදුකරනු ලැබේ.