ICAO ඡායාරූප

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුරවැසියන්ගේ ඡායාරූප ලබාගැනීම
1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරිමට අදාළව 2016.02.10 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2006 අංක 08 සංශෝධිත නියෝග අනුව ජාතික හැඳුනුම්පත නිකුත් කිරිම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ International Civil Aviation Organization (ICAO) ප්‍රමිතීන්ට අනුකූල වන ඡායාරූප පමණක් භාවිතා කළ යුතුය.

ICAO ප්‍රමිතියට අනුකූල වන පරිදි පුද්ගල ඡායාරූප ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොන්දේසි හා නිර්ණායකයන්ට අනුව දිවයින පුරා තෝරාගත් ඡායාරූපාගාරයක් හිමි ඡායාරූප ශිල්පීන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය මෘදුකාංග හා පුහුණුව ලබා දී ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූපාගාරයක් පවත්වා ගෙන යාමේදී සැළකිලිමත් විය යුතු කරුණු

    ඡායාරූපාගාර ලියාපදිංචි කිරීම
    ලියාපදිංචිය අලුත් කිරීම
    ඡායාරූපාගාරවල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීම
    ලියාපදිංචි කරන ලද ඡායාරූපාගාරයක් අසාදු ලේඛන ගත කිරීම
    ඡායාරූපාගාරයේ හිමිකාරිත්වය වෙනස් කිරීම
    ඡායාරූපාගාරයේ ව්‍යාපාර ස්ථානය වෙනස් කිරිම

ඡායාරූපාගාර ලියාපදිංචි කිරිම

ඉහත ප්‍රමිතීන්ට අනුකූල ඡායාරූප ලබාගැනීම සඳහා දිවයින පුරා පිහිටි ඡායාරූපාගාර ලියාපදිංචි කිරීම සිදුකරනු ලැබේ. ලියාපදිංචි කිරීම සඳහා අයකරන ගාස්තුව රු.15,000.00 ක් වේ.

ඡායාරූපාගාර ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම්පත්‍රය නිවැරදිව සම්පුර්ණ කර, අදාළ සහතිකවල පිටපත් සමඟ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්, පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, 12 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ යුතුය.

ලියාපදිංචිය සඳහා අවශ්‍ය වන සහතික හා අනෙකුත් ලේඛන,
  1. නිවරැදිව සම්පුර්ණ කරන ලද අයඳුම්පත්‍රය
  2. ඡායාරූපාගාරයක් ලෙස ලියාපදිංචි කරන ලද සහතිකයේ (Business Registration) සහතික කල ඡායා පිටපතක්. (ග්‍රාම නිළධාරි හෝ සාමදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කරන ලද)
  3. ඉල්ලුම්පත ඉදිරිපත් කරන ඡායාරූපාගාර හිමි කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්. (ග්‍රාම නිළධාරි හෝ සාමදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කරන ලද)
  4. ඉල්ලුම්කරුට අදාළ වෘත්තීය සුදුසුකම් සනාථ කිරීම සඳහා (පදනම්, ඩිප්ලෝමා, උපාධී - වෘත්තිය සඳුසුකම් සනාථ කිරිම සඳහා අදාළ සහතික වල සහතික කරන ලද පිටපත් සමඟ)

ලියාපදිංචිය අලුත් කිරිම

මෘදුකාංග බලපත් අලුත් කිරිම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූපාගාර වලින් සෑම වසරකට වරක් රු.3000.00 ක ගාස්තුවක් අයකරනු ලැබේ. ගිවිසුම් කාල සීමාව අවසන් වන බව මෘදුකාංගය මගින් දැනුම් දීමෙන් පසු මාර්ගගත ක්‍රමයට ගෙවීම් සිදු කර ලියාපදිංචිය අළුත් කල හැකිය. මාර්ගගත ක්‍රමවේදයෙන් තොරව බැංකුව හරහා මුදල් ගෙවිම සිදු කරන්නේ නම්, බැංකුගත කරන ලද කුවිතාන්සියේ පිටපතක් විද්‍යුත් තැපෑලට (enic.drp@gmail.com) යොමු කිරිමෙන් ලියාපදිංචිය අළුත් කල හැකිය.
ලියාපදිංචිය අළුත් කිරීමේ විවිධ අවස්ථා පහත දැක්වේ.

  1. සෑම වසරකට වරක් ඡායාරූපාගාර වෙත ලබාදුන් මෘදුකාංග බලපත්‍ අළුත් කිරිම.(ඉහත අලුත් කිරිමේ ගාස්තුව ගෙවිය යුතුය.)
  2. ඡායාරූපාගාරය තාවකාලිකව අවලංගු කර තිබෙන අවස්ථාවකදී
  3. හිමිකාරිත්වය මාරු වන අවස්ථාවන්හීදි
  4. ඡායාරූපාගාර පවත්වාගෙන යන ස්ථානය වෙනස් වන විට දී (ලිපිනය වෙනස් වන විට දී)
  5. පළමු හිමිකරු මියගොස් ඇති විට දී
ඡායාරූපාගාර ලියාපදිංචිය තාවකාලිකව අවලංගු කිරිම.

ICAO ප්‍රමිතියෙන් තොර ඡායාරූප ලබා ගන්නා බවට හා එම ඡායාරූප දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව පද්ධතිය මඟින් හඳුනාගත් විටකදී ඡායාරූපාගාරයේ ලියාපදිංචිය තාවකාලීකව අවලංගු කර පණිවිඩයක් මඟින් අදාළ ඡායාරූපාගාරය වෙත දන්වනු ලැබේ. මෙහිදී ලියාපදිංචිය අළුත් කිරිම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කලයුතුවේ. වරදෙහි ස්වභාවය අනුව පරික්ෂණයක් පවත්වා එහි ප්‍රථිඵල මත තාවකාලික අවලංගු කිරිමක්, ඉවත් කිරිමක් හෝ අසාඳු ලේඛනගත කිරිම පිළිබඳව තීරණය දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබේ.

අසාඳු ලේඛනගත කිරිම (Black List)

පුර්ව වැරදි කිහිපයක් මත තාවකාලික අවලංගු කිරිම් තුනක් සිදුකර ඇති අවස්ථාවක තව දුරටත් එම වැරදි සිඳු කරන්නේ නම් විධිමත් පරික්ෂණයක් පවත්වා තහවුරු කර ගැනිමෙන් අනතුරුව ඡායාරූපාගාරයේ ලියාපදිංචිය අවලංගු කිරිමට හෝ අසාඳුගත ලේඛනයට ඇතුලත් (Black List) කිරිමට කටයුතු කරනු ලැබේ.

හිමිකාරිත්යවය වෙනස්වීම

මෙම හිමිකාරිත්වය වෙනස්වීම අවස්ථා දෙකක දී සිඳුවිය හැක.

  1. ලියාපදිංචි කර ඇති ඡායාරූපාගාරයේ හිමිකරු මියයාම.
  2. ඡායාරූපාගාරයේ හිමිකාරිත්වය වෙනත් අයෙකුට පැවරිම.
ඡායාරූපාගාරයේ අයිතිය වෙනස් වන විටදී ඒ බව නොපමාව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දිය යුතුවේ.

ව්‍යාපාර ස්ථානය වෙනස් කිරිම
ඡායාරූපාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම්,

නව ස්ථානයේ ඡායාරූපාගාරය පවත්වාගෙන යාම සඳහා අදාළ පරිදි බඳු ගිවිසුම හෝ කුලී ගිවිසුම සමඟ නව ලිපිනය වෙනස් කිරීමට අනුව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය යාවත්කාලින කලයුතු අතර එම වෙනස් කිරිමෙන් අනතුරුව එහි සහතික කල පිටපතක් සමඟ ලිපිනය වෙනස්වීම සනාත කරමින් ඡායාරූපාගාර හිමිකරු විසින් දෙපාර්තමේන්තුවට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුවේ.

ICAO ඡායාරූපාගාර සඳහා අවම සුදුසුකම්

පොදු කරුණු,

  1. ඡායාරූපය ලබාගත් පසු මෘදුකාංගය මඟින් නිකුත් කරන, ඡායාරූප යොමු ලදුපත (Photo Reference Slip) පමණක් අයදුම්කරුට ලබාදිය යුතුය. 2023 දෙසැම්බර් 18 වන දින ගැසට් නිවේදනයට අනුව ඡායාරූපයක් ලබාගැනීම සඳහා අයදුම්කරුවන්ගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව රු.400/= කි.
  2. ලියාපදිංචි කරන ලද ඡායාරූපාගාර විසින් ICAO ප්‍රමිතීන්ට අනුකුලව ලබාගන්නා ලද ඡායාරූප පොටෝ ස්ටූඩියෝ මෘදුකාංගය භාවිතා කර දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුලත් කරනු ලැබේ. මේ පිළිබඳව එක්දින පුහුණු වැඩමුළුවක් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ව්‍යාපෘති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබේ.
  3. ඡායාරූපාගාරය විසින් ලබාගත් ඡායාරූපයක් වලංගු වන්නේ එය ලබාගත් දින සිට මාස 06ක කාලයක් සඳහා පමණි.