දෙපාර්තමේන්තුවේ ආරම්භය



මෙරට පුද්ගලයන් ලියාපදිංචි කිරීම හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා වන නෛතික පසුබිම ආරම්භ වූයේ 1968.06.22 වන දින 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සම්මත වීමත් සමගය. 1971 අප්‍රේල් 05 වන දින මෙම පනත ක්‍රියාත්මක කිරීමට අදාල රෙගුලාසි හඳුන්වා දීමෙන් පසු, 1971.10.01 වන දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අංක 38, කැප්පෙටිපොල පාර, කොළඹ 05 ලිපිනයෙහි ස්ථාපිත කරන ලදී.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම අවශ්‍ය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී වතු කම්කරුවන් ලෙස ඉන්දියානු ජාතිකයන් විශාල ප්‍රමාණයක් මෙරටට සංක්‍රමණය වීමත්, 1947 වර්ෂයේදී ඉන්දියාවත්, 1948 වර්ෂයේදී ලංකාවත්, නිදහස ලැබීමෙන් පසු දෙරටෙහි ආගමන විගමන නීති රීති අනුව ඉන්දියානු ජාතිකයන්ට නීත්‍යානුකූලව දෙරට අතර ගමන් කිරීමට හැකිවීම හා ඉන්දියන් ජාතිකයන් විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් සම මිශ්‍රවී පැවතීම යන කරුණු හේතුවෙනි. මේ අනුව, එකල රාජ්‍ය නායකයන් වූ ශ්‍රී ජවහර්ලාල් නේරු හා ඩී.එස්. සේනානායක යන අගමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙරට සිටි ඉන්දීය ජාතිකයන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් සඳහා විශේෂ නීති හඳුන්වා දෙනු ලැබීය. එම නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවූයෙන් 1954 ඔක්තෝම්බර් මස අත්සන් තැබූ නේරු-කොතලාවල ගිවිසුමත්, 1964 ඔක්තෝම්බර් මස අත්සන් තැබූ සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමත් අනුව එම ගිවිසුම්වල සඳහන් පරිදි ඉන්දියානු ජාතිකයකන්ගෙන් පිරිසක් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමටත්, කොටසක් ඉන්දියාවට යැවීමටත් තීරණය කළ ද, එම තීරණය ද නිසි පරිදි ක්‍රියාත්මක නොවුණි. ඒ අනුව, මැලේසියානු හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙරටට අවශ්‍ය පරිදි පුද්ගලයින් ලියාපදිංචි කර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සදහා නීති කෙටුම්පත් කිරීම සිදුකරන ලදී.

දෙපාර්තමේන්තු ගමන් මග,
සංදිස්ථානය වර්ෂය
ප්‍රථම වරට හැඳුනුම්පතක් නිකුත් කිරීම 1972 වර්ෂය
ජාතික හැඳුනුම්පත් අංකය යතුරු ලියනය කිරීම 1996 වර්ෂය
කළු සුදු ඡායාරූපය වෙනුවට වර්ණ ඡායාරූප ලබා දීම 2005 වර්ෂය
පරිගණක අනුසාරයෙන් අංක ලිවීම 2007 වර්ෂය
පරිගණක තාක්ෂණය ඇසුරෙන් සිංහල මාධ්‍යයෙන් පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් මුද්‍රණය 2009 වර්ෂය
දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාල 335 ක් ස්ථාපනය කර සංවර්ධන නිලධාරීන් විමධ්‍යගත කිරීම 2013 වර්ෂය
නැගෙනහිර පළාත් කාර්යාලය ආරම්භ කිරීම 2013 වර්ෂය
වව්නියාව පළාත් කාර්යාලය ආරම්භ කිරීම 2013 වර්ෂය
සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම තොරතුරු මුද්‍රණය කිරීම 2014 වර්ෂය
ආරම්භයේ පටන් කැප්පෙටිපොල පාර, කොළඹ 05, පිහිටුවා තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරීම 2016 වර්ෂය
ජාතික හැඳුනුම්පතේ ඉලක්කම් 09 කින් යුතු අංකය වෙනුවට හැඳුනුම්පතේ අවසානයට ඇති V අකුර ඉවත් කර ඉලක්කම් 12 කින් යුත් අංකයක් බවට පරිවර්තනය කිරීම 2016 වර්ෂය
සුහුරු ජාතික හැදුනුම්පත නිකුත් කිරීම 2017 වර්ෂය
වයඹ පළාත් කාර්යාලය ස්ථාපිත කිරීම 2017 වර්ෂය
ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය හඳුන්වා දීම 2018 වර්ෂය
VPN තාක්ෂණය මගින් ඉල්ලුම්පත් පරිලෝකනය කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ආරම්භ කිරීම. 2018 වර්ෂය
දකුණු පළාත් කාර්යාලය ආරම්භ කිරීම හා එක් දින සේවාව ක්‍රියාත්මක කිරීම 2019 වර්ෂය
ජාතික හැඳුනුම්පත් තොරතුරුවල සත්‍යතාවය තහවුරු කිරීමේ මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දිම 2020 වර්ෂය
සංශෝධිත හා අනුපිටපත් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර අයදුම්පත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට යොමුකිරීම හා රාජකාරිකටයුතුවලදී භාවිතා වන කඩදාසි ප්‍රමාණය අවම කිරීමට WhatsApp, Viber වැනි සමාජ ජාල යොදා ගැනීම සහ පරිගණක තිර හරහාම ලේඛණවල නිරවද්‍යතාවය පරික්ෂා කර අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම සඳහා Share folders භාවිතා කිරීම හා email පහසුකම් භාවිතා කිරීම.
රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක කරන අලුතින් උපදින දරුවන්ගේ ශ්‍රී ලාංකික අනන්‍යතා අංකය (SLIN අංකය)ලබා දීම 2022 වර්ෂය
NIC Lookup 2022 / 2021 වර්ෂය