විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේදයන් යොදා ගනිමින් පුද්ගල අනන්‍යතාවය ඉතාමත් නිවැරදිව හා කාර්යක්ෂමව තහවුරු කර දීමේ පරමාර්ථයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය 2012 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදී.

ව්‍යාපෘතියේ අවසන් අරමුණ වනුයේ වයස අවුරුදු 15ට වැඩි සෑම ශ්‍රී ලංකික පුරවැසියකුගේම ජීවදත්ත, ජීවමිතික දත්ත, පවුලේ තොරතුරු හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතියෙන් යුත් ඡායාරූප එක් රැස් කර පුරවැසියන් නැවත ලියාපදිංචි කිරීම තුලින් පුද්ගලයන් පිළිබඳ ජාතික නාම ලේඛනය (National Register of Persons) ස්ථාපිත කිරීමත්, ලියාපදිංචි සෑම පුරවැසියකු සඳහාම ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා (SL-UDI) අංකය සහිත විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) නිකුත් කිරීමත් හා එමගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීම, සත්‍යාපනය සහ සහතික කිරීම සඳහා අවශ්‍යවන වන තොරතුරු හුවමාරු කරගැනීමේ යාන්ත්‍රණයක් හා සේවා වේදිකාවක් ස්ථාපිත කිරිම වේ.

ව්‍යාපෘතිය මඟින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ පහසුව සඳහා පහත සඳහන් පහසුකම් පුරවැසියන් වෙත දැනටමත් ලබා දී ඇත.
    ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අවශ්‍ය සියලුම කාර්යයන් ප්‍රාදේශීය මට්ටමින් සිදුකර ගැනීමට හැකි වන පරිදි දෙපාර්තමේන්තු හැඳුනුම්පත් ඒකක 335ක් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අවශ්‍ය මානව, තාක්ෂණික හා භෞතික සම්පත් සහිතව ස්ථාපිත කිරීම.
    දෙපාර්තමේන්තු සේවාවන් පළාත් මට්ටමට විමධ්‍යගත කිරීම සඳහා උතුරු, නැගෙනහිර, දකුණු, වයඹ, හා මධ්‍යම පළාත්වල දෙපාර්තමේන්තු පළාත් කාර්යාල ස්ථාපිත කිරීම.
    පුළුල් සේවාවක් ලබාදීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අධි තාක්ෂණික පහසුකම් සහිතව 2016 වර්ෂයේ සිට බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම.
    මහජනතාවට ක්ෂණික හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා ප්‍රාදේශීය කාර්යාල හා පළාත් කාර්යාල VPN තාක්ෂණය මඟින් ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධ කිරීම.
    ICAO ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පුද්ගල ඡායාරූප මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රධාන කාර්යාලයට ලබාගැනීමට අදාළ මෘදුකාංගය ඡායාරූපාගාරවල ස්ථාපිත කරමින් දිවයින පුරා ඡායාරූපාගාර 2341ක් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ගැනීම.
    පුද්ගල තොරතුරු අතින් ලියා, ඡායාරූපය අලවා ලැමිනේට් කර නිකුත් කල පැරණි කාඩ්පත වෙනුවට 2017 ඔක්තෝබර් 27 දින සිට ICAO ඡායාරූපය සහිතව පොලිකාබනෙට් සුහුරු කාඩ්පතක සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ලේසර් තාක්ෂණයෙන් මුද්‍රණය කර ලබා දීම.
    ප්‍රධාන කාර්යාලයට අමතරව ගාල්ල පළාත් කාර්යාලය තුලින්ද ජනතාවට එක්දින සේවා පහසුකම් සැපයීම.

විද්‍යුත් ජාතික හැඳුනුම්පතක අනිවාර්යය අවශ්‍යතාවය,

නුදුරු අනාගතයේදී ඩිජිටල් කරණය වූ ආර්ථිකයක් තුල සියලු මහජන සේවාවන් සැපයීම එනම් මහජන සුභසාධනය, බැංකුකරණය , රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර, විශ්‍රාම වැටුප්, සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණය, රැකියා අවස්ථා වලට යොමුවීම යනාදී කාර්යයන් වලදී පුද්ගල තොරතුරු සනාථ කිරීමේ ප්‍රමුඛ ලේඛනය වනුයේ විද්‍යුත් ජාතික හැඳුනුම්පතයි.