නවතම පුවත්

නවතම පුවත්

අළුතින් උපදින දරුවන් සදහා ජාතික හැදුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතිකය නිකුත් කිරීම

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව, ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරට දී උපදින දරුවන්ට උපතේ දී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයට, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් අංකය (Sri Lankan Identification Number/SLIN) ඇතුලත් කර උප්පැන්න සහතිකය නිකුත් කිරීම 2022.08.01 දින සිට ආරම්භ කෙරේ. එය මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ දෙපාර්තමේන්තු දෙක අතර තොරතුරු හුවමාරු කර ගනිමින් සිදු කිරීමට නියමිත අතර, ආරම්භක අවස්ථාවේ දී නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
br> එසේ උප්පැන්න සහතික ලබා ගත් සියළුම පුරවැසියන් වයස අවුරුදු 15ට එළඹීමෙන් පසු ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතින් කරන ඉල්ලීමක දී, ඉහත අංකය (SLIN) සඳහන් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙම ක්‍රමවේදය තුලින් පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේදී උපතේ සිට සියළුම කාර්යයන් සඳහා එකම අනන්‍යතා අංකයක් භාවිතා වන බැවින් අධ්‍යාපන, සෞඛ්‍යය, මූල්‍යමය හා සමාජමය තොරතුරු ඉතා පහසුවෙන් ගබඩා කර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට හැකියාව ලැබෙන අතර, තොරතුරු එකම අංකයක් යටතේ ගොනුගත කර තිබෙන බැවින් එම ආයතන මගින් සේවා ලබා ගැනීමේ දී මහජනතාවට ද පහසුවක් වනු ඇත.

අළුතින් උපදින දරුවන් සදහා ජාතික හැදුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතිකය නිකුත් කිරීම.